දකුණේ නාගානන්ද උතුරේ අරුන් අමතයි

දකුණේ නාගානන්ද උතුරේ අරුන් අමතයි

දකුණේ නාගානන්ද උතුරේ අරුන් අමතයි

February 14, 2019

හිතවත් අරුන්,

ශ්‍රී ලංකා මාතාව අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව කාණුවේ ගසාගෙන යන අවධියක, ඒ මහත් ව්‍යසනයට එරෙහිව මහජනතාව පෙළගැසීම වැලක්වීමට අපව ජාති, කුල හා ආගම් ලෙස භේද කර ඇති අවධියක ඔබ වැන්නවකුගේ හඬ අවධි වීම නාගානන්ද සැබවින්ම අගය කරයි.

දෙමල ජනයාගේ එකම නියෝජිතයායි කියා යයි තමන් හඳුන්වා ගන්නා TNA හොරු රැල උතුරේ ජනතාව පිඩනයට පත් කර ඇති අයුරු Point Pedro සංචාරයේදී නාගානන්ද සියසින්ම දුටුවේය. TNA තක්කඩි දමිළ ජනතාවට සිංහලුන් යක්කු මෙන් පෙන්වන චිත්‍රය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව දමිළ ජනතාව සියසින්ම දුටුවේය.

අලි මදිවට හරක් කියන්නා සේ සිංහල වචනයක්වත් නොතේරෙන එම ජනතාවට අධිකරණයේදී පොලිස්පති ඉදිරිපත් කරන චෝදනා ද එල්ල කරන්නේ සිංහල භාෂාවෙනි. ශ්‍රී ලාංකික පුරවැසියන් වූ ඔවුන් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම රටේ දෙවැනි පුරවැසියන් බවට දෙපාර්ශවයේ තක්කඩින් විසින් පත් කර ඇත.

නාගානන්ද ඔබේ ඉල්ලීමට කන් දුන්නේ ඔබ වැන්නවුන් ගේ හඬ තවත් එක් හඩක් පමණක් නොවී එයට නිසි වටිනාකමක් ලබා දී රට පුරා සිටින එඩිතර තරුණ තරුණියන් අවදි කිරීමේ චේතනාවෙනි. නාගානන්ද උතුරට පැමිණීම වැලක්වීමට සෑම උත්සාහයක්ම ගත්තේ දකුණේ සිටින තක්කඩින්ට වඩා උතුරේ වෙල්ලාලයින්ය. ඔවුන් නාගානන්දට ඔබව හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදියකු ලෙසය. නමුත් බුද්ධි අංශ හා උතුරේ ආරක්ෂක අංශ ඔබව හඳුන්වාදුන්නේ දැඩි වාමාංශික අදහස් දරන ව්‍යාජ TNA හෙළුව ජනතාවට නිර්භයව හෙළිකරන තරුණයකු වශයෙන් පමණි. ඔබට පලාලි ගුවන් හමුදා භටයින් දැක්වූ සහයෝගයෙන් එය මැනවින් සනාථ විය.

ඔබ වෙනුවෙන් පෙනී සිටීමට නාගානන්ද උතුරට පැමිණියේ කශේරුකාව සම්බන්ධ අභාදයකට සම්පුර්ණ විවේකීව කල් ගත කලයුතු බවට නාගානන්දට ලබාදී තිබු වෛද්‍ය උපදෙස් වලට පවා එරෙහිව යමිනි. නගානන්දට එම තීරණය ගැනීමට සිදුවුයේ එම අවදානම නොගෙන සිටීම ඔබ මෙහෙයවන උතුරේ ‘සමාජ විප්ලවය’ අධෛර්යමත් කිරීමට හේතුවන බව ඔහු තේරුම් ගත් හෙයිනි.

වසර 70 ක් පුරා නිදහසේ රට කා විනාශ කරන TNA තක්කඩි සහ දකුණේ තක්කඩි අතර කිසිම වෙනසක් නැතිබව ඔබ රටටම හෙළි කල අයුරු ප්‍රශංසනීයය. අරූන් අප විසින් වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වූ ඒ වෙනසින් උතුරේ දකුණේ අහිංසක ජනයා රවටන ව්‍යාජ දේශපාලුවෝ දැන් කැළඹීමට පත්ව ඇත. එහෙයින් ඔබ මේ අවස්ථාවේ ඉතා ප්‍රවේසම් විය යුතුව ඇත. විශේෂයෙන් ඔබ රට බෙදා තවත් අවුල් කිරීමට මාන බලන සම්බන්ධන්, සුමතිරන්, විග්නේශ්වරන් යන TNA වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.

උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කල දකුණේ දකුණේ ජාතිවාදය පෝෂණය කරන වුන් දැන් ඔබව බළල් අතක් සේ පාවිච්චි කිරීමට උත්සාහ කරනු පෙනේ. බොර දියේ මාලු බෑම රාජපක්ෂ කණ්ඩායම විසින් පටන්ගෙන ඇත.

එකවරම සිදුවූ මේ වෙනස මෙරට දේශපාලන භුමිය කරකවා බිම හෙළා ඇත. දෙමල ජනතාවගේ දුක් ගැනවිලි ගැන දශක ගණන් මැසිවිලි පමණක් නගමින් එය ජීවිකාව කරගත්තවුන් ඔබ ගැන විවිධ මත හා ආරංචි පතුරුවා හැරීම දැනටමත් ආරම්භ කර ඇත. ශ්‍රී ලාංකික ජනතාව තව දුරටත් රැවටීම වැලක්වීමට අපට වගකීමක් ඇත. එවන් පසුබිමක දකුණේ අති බහුතරයක් ඔබට ආදරය කරයි. සමගි සම්පන්න දැයක් ගොඩනැගීම ගැන ඔවුන් බලාපොරොත්තු ඇති කර ගනියි. එනිසා අපේ පරම වගකීම හා යුතුකම ඔවුන්ගේ හදගැස්ම වෙනුවෙන් නිර්ව්‍යාජව, නොසැලී, පෙනී සිටීමයි.

වැරදීමට ගතවන්නේ එක තත්පරයකි, වැකියකි, අත්වැරදීමකි, චායාරුපයකි. ඔබත් නාගානන්දත් නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව මිස TNA ඉල්ලන ජාතින් වශයෙන් මව්බිම බෙදා වෙන්කරන ‘ඔරුමිත්ත නාඩුවක’ ජනතාවක් නොවේ. අපේ අරමුණ පැහැදිළිවම නිර්ව්‍යාජ වූ තරමට, අවංක වූ තරමට, අප සම්‍යක් දෘෂ්ථිකයින් වු තරමට, අපේ පොදු අරමුණු සඵල වනු ඇත. අප කඩිනමින් ක්‍රීයාත්මක වූ තරමට උතුරේ සහ දකුණේ අපරාධකරුවන් අප හමුවේ දන නැවීම ඉක්මන් වනු ඇත.

එය මුදුන්පමුනුවා ගැනීම සඳහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත්, සැගවුණු අරමුණු නැති පිරිසක් ලං කර ගත යුතුය. මේ ලැබුණු මගඟු අවස්ථාව මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියම එක් සේසත් කර වේගයෙන් ඉදිරියට ගෙන යාමට අපි පාවිච්චි කල යුතුය.

උතුරේ දමිළ හා දකුණේ සිංහල ජනයා වංචා කරන තක්කඩි එකම තක්කඩි රැලක් බව ඔවුන් පසක් කර ගත දිනෙක් උදා වන්නේ කවදාද එදිනට ශ්‍රී ලංකා මාතාව සතුටු කඳුළු සලනු ඇත.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු